ක්‍රිකට් ගැන ජනපතිගේ මතය

New Day
0


මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යාම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

2030දී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තිබිය යුත්තේ කොතැනද කියා දැක්මක් තමා සතු බවද පැවසූ ජනාධිපතිවරයා, පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 1.5ක් වෙන් කළේ එම නිසා බවත් එය ඉදිරියේදී වසරකට බිලියන 02 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවත් පවසයි.

මෙම මුදල් පරිපාලනය සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම ස්වාධීන භාරයක් වෙත පැවරීමට අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා සියලු කටයුතු විනිවිදභාවයෙන් පවත්වාගෙන යමින් අපේක්ෂිත අරමුණු ඉටු කරගැනීම ඉන් බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

එසේම ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ඉදිරියේදී ගෙනඑන නව නීති මඟින් අතුරු කමිටුවල සහ ඇමතිවරයාගේ බලතල අහෝසි වන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩාව වාණිජකරණය වෙනවා නම් එය දේශපාලනයෙන් තොරව තබාගැනීමේ අවශ්‍යතාවයද අවධාරණය කළේය.

රටේ නව ආර්ථිකයක් ගොඩනඟමින් සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමේ සැලසුම් රජය මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බවත් ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවලද දක්ෂතා දක්වන ජාතියක් බවට ශ්‍රී ලංකාව නැවත පත්විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (08) පස්වරුවේ කොළඹ කෝල්ට්ස් පිටියේ පැවති කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ 150 වන සංවත්සර සැමරුම් උත්සවය අමතමිනි.

1996 ලෝක කුසලානය දිනු කණ්ඩායමේ සාමාජිකයන් වෙත සහ 2011 පන්දුවාර 20 (T20) ලෝක කුසලානය දිනු කණ්ඩායමේ සාමාජිකයන් වෙත කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ සාමාජිකත්වය පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ යාවජීව සාමාජිකත්වය පිරිනැමීම එහි සභාපති නිශාන්ත රණතුංග මහතා අතින් සිදු කෙරුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

"මෙවර අයවැය විවාදය තුළද ප්‍රධාන ස්ථානයක් ක්‍රිකට් ක්‍රීඩාව ලබාගෙන තිබෙන බව අපට පෙනෙන්න තිබෙනවා. මෙවර අයවැය විවාදය ප්‍රධාන වශයෙන්ම ක්‍රිකට් ගැන මිස අයවැය ගැන නොවෙයි, ඒ කියන්නේ විපක්ෂයට ආණ්ඩුව සහ අයවැය යෝජනා පිළිබඳ විවේචනය කරන්න දෙයක් තිබුණේ නැහැ."

"මේ අතර හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවට නව අමාත්‍යවරයෙක් පත් වුණා. ක්‍රිකට් ක්‍රීඩාව තුළ පෙර පැවති තත්ත්වය නැවත ඇති කරන්නේ කෙසේද කියා මේ වනවිට එම අමාත්‍යවරයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමග සාකච්ඡා කරමින් සිටිනවා. ඒ සියල්ල කඩිනමින් නිරාකරණය වී අපට නැවතත් ලෝකය සමග කටයුතු කරන්න ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරමු."

"2030දී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තිබිය යුත්තේ කොතැනද කියා දැක්මක් මට තිබෙනවා."

"මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙයවීමේදී ඊට රජයේ වැඩි මැදිහත්වීමක් සිදු නොකර සිටීම අපේ අරමුණයි. ඒ වගේම ඉදිරියේදී ගෙන එන නව නීති මඟින් අතුරු කමිටුවල සහ ඇමතිවරයාගේ බලතල අහෝසි වෙනවා.

අපි මෙම මුදල් පරිපාලනය සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වැඩිදියුණු කිරීම ස්වාධීන භාරයක් වෙත පවරනවා. ඉතිරි කොටස පැවරෙන්නේ පාලක මණ්ඩලයට ඇති සංවර්ධන සැලසුම්වලටයි. ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට අමාත්‍යාංශයට ද බලතල තිබෙනවා."

"අපි අඛණ්ඩව ක්‍රිකට් ක්‍රීඩක සංචිතය නිර්මාණය කළයුතුයි."

"ඒ වගේම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ලෙස දියුණු කිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා අපි ක්‍රිකට් පාලක මණ්ඩලය එක් කර ගන්නවා."

"ආර්ථිකය කියන්නෙ මුදල්. ක්‍රීඩාව වාණිජකරණය වෙනවා නම් අපි එයටත් ඇතුළත් වෙමු. ඒ වගේම ක්‍රීඩාව වාණිජකරණය වෙනවා නම් එය දේශපාලනයෙන් තොරව තබා ගනිමු."

(Ada Derana)

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top