වර්ෂා සහිත කාලගුණයෙන් උතුරට වැඩි බලපෑමක්

New Day
0


පවතින අධික වර්ෂාවත් සමග ලුණුගම්වෙහෙර, රාජාංගණය, අංගමුව, යන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊට අමතරව විමලසුරේන්ද්‍ර, කාසල්රී යන ජලාශවල ද ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර කළු, ගිං, නිල්වලා, මහවැලි, වලවේ සහ මැණික් ගඟේ ජල මට්ටම් ද ඉහළ ගොස් තිබේ.

කිරිඳි ඔය, කුඹුක්කන් ඔය, හැඩ ඔය, මාදුරු ඔය, බදුලු ඔය, යාන් ඔය, මහ ඔය, මල්වතු ඔය, මී ඔය, දැදුරු ඔය සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ද මේ වන විට ඉහළ ගොස් ඇති අතර, ඇතැම් ප්‍රදේශවලට සුළු ජල ගැලීම් තත්ත්වයක් ද හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඇද හැලෙන අධික වර්ෂාවත් සමග උතුරු පළාතේ පවුල් 2142කට අයත් පුද්ගලයින් 6719 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවතින වර්ෂා සහිත කාලගුණයත් සමග මේ වන විට වැඩිම බලපෑමක් උතුරු පළාතට එල්ල වී තිබේ.

කිලිනොච්චිය ඉරණමඩු ජලාශය වාන් දැමීම නිසා පහත්බිම් රැසක් මෙලෙස ජලයෙන් යටව ඇති අතර, ඉන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටය.

එමෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටද ජල ගැලීම්වලින් දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

උතුරු පළාතේ වැව් රැසක් වාන් දමමින් පවතී.

පොලොන්නරුව දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාවත් සමග මහවැලි ගඟ පිටාර ගැලීමෙන් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නැගෙනහිර මායිමේ ඇති මෙවර යල කන්නය සඳහා මීට මසකට පෙර වගාකළ කුඹුරු අක්කර 600ක් පමණ සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත.

මේ අතර අනුරාධපුරයේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 14ක් මේ වන විට විවෘතව පවතින අතර, ඉන් තත්පරයට ඝන අඩි 15,500ක ජල ධාරිතාවයක් නිකුත් කෙරේ.

එමෙන්ම අංගමුව ජලාශයේ වාන් දොරටු 02ක් ද අඩි 03 බැගින් විවෘත වී තිබේ.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වාන් දැමීමට පටන්ගෙන තිබේ.

ඒ අනුව විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් සහ පොල්පිටිය ජල විදුලි බලාගාරවලින් උපරිම ධාරිතාවෙන් විදුලිය උත්පාදනය කරන බව වාර්තා වේ.

එමෙන්ම විමලසුරේන්ද්‍ර ජලාශය ද දින කිහිපයක සිට මෙලෙස වාන් දමන ආකාරය දක්නට ලැබෙයි.

අධික වර්ෂාවත් සමග මධ්‍යම කඳුකරයේ දිය ඇලි රැසක් වඩාත් සක්‍රීය වී ඇත.

මේ අතර උඩවලව ජලාශයේ ජල මට්ටමද ඉහළ යෑම හේතුවෙන් එහි වාන් දොරටු පහේ ආරක්ෂාව සඳහා ස්වංක්‍රීයව ක්‍රියාත්මක වන ගැන්ට්‍රි දොඹකරයක් සවි කිරීම සඳහා උඩවලව තණමල්විල මාර්ගය මේ මස 15 සිට ජනවාරි මස 15 දක්වා තාවකාලිකව වසා දමා තිබේ.

(අද දෙරණ)

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top