දකුණු ඉන්දියාව වනසන මිජවුම්

New Day
0


මිජවුම් චණ්ඩ මාරුතය (Cyclone Michaung) හේතුවෙන් සහ සැඩ සුළඟ සමඟ ඇතිවූ ජල ගැල්මෙන් දකුණු ඉන්දියාවේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවූ අතර තමිල්නාඩු ප්‍රදේශයට දැඩි ලෙස අලාභහානි සිදුවී ඇත.

තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැති එම්.කේ. ස්ටාලින් අගමැති මෝඩි වෙත ඊයේ (6දා) ලිපියක් යොමුකරමින් අතුරු සහනයක් ලෙස ඉන්දීය රුපියල් කෝටි 5060ක් ඉල්ලා තිබෙන බව India Today පුවත්පත කියයි.  සැඩ සුළඟින් බලපෑම් ඇතිවූ ප්‍රදේශවලට සිදුවූ හානිය දැක බලා ගැනීමට තමිල්නාඩු මහ ඇමැති ස්ටාලින් විපතට පත්වූ ප්‍රදේශවල සංචාරයකද යෙදී තිබේ.

ඊයේ (5දා) දැඩි සුළං සමඟ දකුණු ඉන්දීය වෙරළ තීරයට පතිත වූ මිජවුම් සැඩ සුළඟ හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 17 දෙනකු මරුමුවට පත්ව ඇති බව සඳහන් වෙයි. රූස්ස ගස් මුලිනුදුරා දැමූ මිජවුම් සුළි කුණාටුව හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ දුම්රිය ගමන් වාර 140ක්ද ගුවන් ගමන් 40ක්ද අවලංගු කළ බව බලධාරීහු කියති. 15,000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යෑමට බලධාරීහු ක්‍රියා කළහ.

තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි අගනුවර ඇතුළු ප්‍රධාන නගර තුනකට දැඩි හානි සිදුවී ඇති අතර සමහර ප්‍රදේශවල තවමත් පුද්ගලයකුගේ ඉණ දක්වා ජලය පිරී පවතී. චෙන්නායි ගුවන්තොටුපළද ජලයෙන් යට වූ අතර වාහන ජල ප්‍රවාහය සමඟ ගසාගෙන යන දර්ශන අන්තර්ජාලයට එක්වී තිබේ. තමිල්නාඩු නගරයේ පිරී තිබෙන ජලය ඉවත් කිරීමට කොයිම්බටෝර් ප්‍රදේශයෙන් ජලය පොම්ප කරන යන්ත්‍ර ලබාදීමට පියවර ගෙන තිබේ.

සැඩ සුළඟේ බලපෑම හේතුකොටගෙන දෙසැම්බර් 3 සහ 4දා අඟල් 46ක දැඩි වර්ෂාපතනයක් ලැබීම බොහෝ ප්‍රදේශය ජලයෙන් යට වීමට හේතු වී තිබේ. ලක්ෂ ගණනක් දෙනා බීමට පිරිසුදු ජලය නැතිකමින් පීඩා විඳිති.

එසේම මෙම ප්‍රදේශවලට ආහාර සැපයුමද අඩාල වී ඇත. විදුලි බලය සහ අන්තර්ජාල සබඳතා බිඳවැටී ඇත. සමහර ප්‍රදේශවලට ඉන්දීය රජය ගුවනින් ආහාර හෙළීමට කටයුතු යොදා තිබේ. ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සමහර ප්‍රදේශවලට බෝට්ටු මඟින් ප්‍රවාහනයට ස්වේච්ඡා සේවකයෝද එක්ව සිටිති.

61,000ක් දෙනා රජය විසින් පවත්වාගෙන යන කඳවුරුවල සෙවණ ලබා සිටිති. ඇති හැකි අය මහල් නිවාස ඒකකවලට හෝ අඩු වියදම් හෝටල්වල ලැගුම්ගෙන ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

(මව්බිම)

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top