ක්‍රිප්ටෝ කරන්සි භාවිතකරන මොබිටෙල් බිල් ගෙවන්නෝ වෙත...

New Day
0


ක්‍රිප්ටෝ මුදල්  (Cryptocurrency) නැත්නම් අතථ්‍ය මුදල් භාවිතා කරමින් ගුවන් ටිකට්පත් මිලදී ගැනීම මෙන්ම මොබිටෙල් ආයතනයේ බිල් ගෙවීම ද සිදු කළ හැකි බව ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ ONMAX DT නමින් නීති විරෝධී පිරමිඩ ආයෝජන ක්‍රමයක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහ‌ේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවක විත්තිකරුවකු වන සම්පත් සඳරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් විවෘත අධිකරණයේදීය.

ඔහු මේ බව අධිකරණයට දන්වා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කිරීම ප්‍රවර්ධනය කරන සහ එසේ ප්‍රවර්ධනයට සහය දෙන පාර්ශ්වයන් වෙත එවැනි කටයුතුවලින් වළකින ලෙස දැඩිව අවධාරණය කර තිබියදී ‌ය.

මහ බැංකුව ක්‍රිප්ටෝ මුදල් හඳුන්වනු ලබන්නේ රටක පිළිගත් මූල්‍ය අධිකාරියක මැදිහත්වීමකින් තොරව පුද්ගලික වශයෙන් ජනනය කරනු ලබන අතථ්‍ය මුදල් වර්ගයක් ලෙසය.

2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද 2021 අංක 03 දරන නියෝගය ප්‍රකාරව ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු හා සම්බන්ධ ගෙවීම් සඳහා හර කාඩ්පත් (Debit Cards) සහ ණය කාඩ්පත් (Credit Cards) වැනි විද්‍යුත් මුදල් හුවමාරු කිරීමේ කාඩ්පත් (Electronic Fund Transfer Cards) භාවිතා කිරීමට ද අවසර නැතත් ක්‍රිප්ටෝ මුදල් ප්‍රවර්ධකයින් අදාළ ‌කොටස මගහරිමින් කටයුතු කරන බවද පැවසේ.

අදාළ නියෝග නිකුත් කර ඇත්ත‌ේ ක්‍රිප්ටෝ මුදල් අවිධිමත් මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන බැවින් එය ජාතික ආර්ථිකයට දායකත්වයක් නොදක්වන අතර රටට වටිනා විදේශ මුදල් අහිමි වීමට ද එය හේතුවක් විය හැකි බැවිනි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2018, 2021 සහ 2022 වසර වලදී නිකුත් කරන ලද මාධ්‍ය නිවේදන හරහා ක්‍රිප්ටෝ මුදල් භාවිතය මගින් පරිශීලකයින් හට ඇතිවිය හැකි සැලකිය යුතු මූල්‍ය, මෙහෙයුම්, නෛතික සහ ආරක්ෂාව සම්බන්ධ අවදානම් මෙන්ම පාරිභෝගික ආරක්ෂණ ගැටළු පිළිබඳව දැනටමත් අවධාරණය කර තිබේ.

ක්‍රිප්ටෝ මයිනින් මෙෂිමක් නොමැත්තෙකුට ක්‍රිප්ටෝ මුදල් ලබා ගැනීමට නම් හර කාඩ්පත් (Debit Cards) හ‌ෝ ණය කාඩ්පත් (Credit Cards) වැනි විද්‍යුත් මුදල් හුවමාරු කිරීමේ කාඩ්පත් (Electronic Fund Transfer Cards) භාවිතා කිරීම අනිවාර්ය වන බවද ක්ෂ‌ේත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

(Sri Lanka Mirror)

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top