ජාතික රූපවාහිනිය අවුරුදු 5කින් VAT නොගෙවයි?

New Day
0


ජාතික රූපවාහිනිය VAT බදු ‌වශයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ‌ගෙවීමට ඇති රුපියල් මිලියන 750කට ආසන්න මුදලක් නොගෙවා මඟහරිමින් සිටින බව වාර්තා වේ.

එම ආයතනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වසර පහක පමණ කාලයක සිට මෙසේ VAT බදු ‌ගෙවා නැතැයිද පැවසේ.

අදාළ තත්ත්වය හේතුවෙන් රූපවාහිනියට මුදල් ලැබීමට ඇති වෙනත් ආයතන වලින් නොගෙවූ VAT බදු අය කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුවිප් ටිකට් දිනුම් ඇදීම් ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් රුපවාහිනියට මසකට ගෙවනු ලබන රුපියල් මිලියන 40කට ආසන්න මුදල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස එහි ආදායම් බදු කොමසාරිස් ජනරාල්වරයා විසින දන්වා ඇති බවද වාර්තා වේ.

මේ අතර, දැනට මාස පහක පමණ කාලයක සිට රූපවාහිනියේ සභාපති ලෙසින් කටයුතු කරන ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා මෙම VAT බදු ප්‍රමාණය නොගෙවා මගහැර සිටීමට අහල පහල හිතවතුන්ගේ සහය පතමින් සිටින බවද පැවසේ.

ඒ මහතා අදාළ තනතුරට පත්කරන ලද, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හරහා ආදායම් බදු කොමසාරිස් ජනරාල් (වැඩ බලන), උපුල් ජයවර්ධන මහතාටත් තවත් ඉහල නිලධාරීන්ටත් බලපෑම් කර ඇති බවට ද මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඔවුන් මෙසේ ඉල්ලා ඇත්තේ මෙම වසර අවසන් වනතුරු VAT  බද්ද නොගෙවා සිටීමට අවස්ථාව ලබාදෙන ලෙස බවද පැවස‌ේ.

රටේ සාමාන්‍ය ව්‍යාපාරිකයකු මෙසේ බදු නොගෙවා VAT බද්ද සේවක පඩිනඩි ගෙවීමට යොදා ගත්තේ නම් මේ වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඔහුගේ හෝ ඇයගේ ව්‍යාපාර බැංකු තහනම් කර නඩු පැවරීමට කටයුතු කරනු ලබයි.

VAT බදු ‌ගෙවීම පැහැර හැරීමට හේතු ලෙස රූපවාහිනී සේවක සේවිකාවන්ට එහි සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ චැනලයේ ආදායම අඩුවීමයි.

නමුත් වෘත්තීය සමිති නියෝජිතයින් කියාසිටින්නේ සභාපති ප්‍රසාද් සමරසිංහ විසින් චැනලය දියුනු කිරීමට උවමනා නිෂ්පාදන සඳහා සේවක පිරිස යොමු නොකරන බවත්, දවස පටන් ගත් මොහොතේ සිට රූපවාහිනී යූටියුබ් චැනලයට කොටමින් එයින් කීයක් හෝ ගසා කෑමට උත්සහ කරන බවත්ය.

මේ අතර, මෙරට ප්‍රධාන ආයතන කිහිපයකම අධ්‍යක්ෂ වරයකු ලෙස කටයුතු කරන ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතාගේ මෙම හැසිරීම හේතුවෙන් ඔහුගේ මෙරට හා ඔස්ට්‍රේලියාවේ තිබෙන  වත්කම් සඳහා නිවැරදිව බදු ගෙවන්නේද යන්න පිළිබඳවද දේශීය ආදායම් දෙපාර්තමේතුවට සැකයක් මතුව ඇතැයි මේ අතර වාර්තා වේ.

අද බිසී පස්සේ උත්තර දෙන්නම් …

ශ්‍රී ලංකා මිරර් විසින් ආදායම් බදු කොමසාරිස් ජනරාල් (වැඩ බලන), උපුල් ජයවර්ධන මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමනදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධව අද පිළිතුරක් දිය නොහැකි බවයි.

අය වැය සම්බන්ධ සාකච්ඡා කිහිපයක් හේතුවෙන් අද සවස්වන තුරුම තමා කාර්ය බහුල බවත් මේ සඳහා පසුව පිළිතුරක් ලබාදීමට හැකි බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

15% VAT – 18% වුණේ මේ නිසා?

මේ අතර, එළැඹෙන 2024 ජනවාරි 01 වැනිදා සිට VAT නොහොත් එකතු කළ අගය මත බද්ද, 15% සිට 18% දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කෙසේවුවද, VAT ගෙවන සමාගම් කිහිපයක ප්‍රධානියෝ  අප සමඟ කියා සිටියේ වැට් බදු වැඩි කිරීමට හේතුව රාජ්‍ය ආයතන විසින් ද VAT ගෙවීම පැහැර හැරීම බවයි. 

(ශ්‍රී ලංකා මිරර්)

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top