ඉන්දීය බිස්නස් කාරයෙක් හඳෙනුත් ඉඩමක් අරගෙන

New Day
0

චන්ද්‍රයාන් -3 රොකට්ටුවේ සාර්ථකත්වයෙන් දින දෙකකට පසු ඉන්දීය ව්‍යාපාරිකයකු සඳෙන් අක්කරයක ඉඩම් කැබැල්ලක් මිල දී ගැනීමේ කුතුහලය දනවන පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ස‍ඳෙන් ඉඩම් කැබල්ලක් මිල දී ගෙන ඇත්තේ ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ 49 හැවිරිදි රූපෙෂ් මේසන් නැමැති ව්‍යාපාරිකයා බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.


සඳෙහි ඉඩම් කට්ටි කර විකිණීම සහ එවැනි ක්‍රියාවක් සිදු කිරීමේ බලය ඇත්තේ කාටද යන්න මේ පුවතත් සමඟ මතුවන ගැටලුව වන අතර, තොරතුරු සොයා බැලීමේදී සඳ ඇතුළු පිටසක්වල නිශ්චල දේපළ සඳහා හිමිකම් පෑමට හෝ අලෙවි කිරීමට ලොව පුරා බොහෝ සංවිධාන, ආයතන හා පුද්ගලයන් කටයුතු කරමින් සිටින බවය. එවැන්නක් ලොව කිසිදු අධිකාරියකින් පිළිගෙන නොතිබුණ ද, නීතිමය ස්ථාවරයක් නොමැති වුවද එවැනි බොහෝ සංවිධාන සඳ ඇතුළු ආකාශ වස්තූන් සඳහා හිමිකම් කියමින් ‘චන්ද්‍ර ඔප්පු‘, අඟහරු ඔප්පු‘ හෝ ඊට සමාන වෙනත් හිමිකම් සහතික හරහා එහි කොටස් විකිණීම සිදු කරමින් පවතින බවය.

රූපෙෂ් මේසන් සඳෙන් ඉඩම් කැබැල්ලක් මිල දී ගෙන ඇත්තේ අමෙරිකාව කේන්ද්‍ර කරගත් එවැනි ආයතනයක් වන The Lunar Registry හරහා ය. එම ආයතනය විසින් සඳෙහි ‘Lake of Happiness‘ ලෙස හඳුන්වා දෙනු ලැබූ විශේෂිත ප්‍රදේශයකින් රූපෙෂ් එම ඉඩම් කැබැල්ල මිල දී ගෙන ඇත්තේ අමෙරිකානු ඩොලර් 29.07ක බවත් ඔහු විසින්ම ඉන්දීය වාර්තාකරුවන්ට ප්‍රකාශ කර තිබේ. ඒ සඳහා වන ඔප්පුව ඔහුට පසුගිය මස 25 වැනිදා ලැබුණු බවත්, ඒ සමඟම ඉඩම් කැබැල්ලේ චන්ද්‍රිකා ඡායාරූපයක් ද ලැබුණු බවත් ඔහු සඳහන් කර තිබේ.

සඳෙන් ඉඩම් කැබැල්ලක් හිමිකර ගැනීම ඉන් ඔබ්බට ඇති දේ පිළිබඳ මානව වර්ගයාගේ කුතුහලය වැඩි කරන බවත්, සඳු යනු පෘථිවි වැසියන්ගේ අනාගත බලාපොරොත්තුවක් බවත් මේ ව්‍යාපාරිකයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. එමෙන්ම සඳ මත ඉඩමක් මිල දී ගැනීම අවිනිශ්චිත අනාගතයක් සඳහා සූදානම් වීමේ හැඟීමක් ගෙනදෙන්නක් බව ද රූපෙෂ් මේසන්ගේ අදහස වී ඇත.

ඔහු කියන පරිදි ලොව පුරා කීර්තිමත් පුද්ගලයන් 675 දෙනකු සහ අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරු තිදෙනකු ද මීට පෙර සඳෙන් ඉඩම් කැබැලි මිල දී ගත් පුද්ගලයන් අතර සිටිති.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top