මහින්දව හෙට මානසික වෛද්‍යවරුන්ට පෙන්වයි!

New Day
0
රක්ෂිත බන්ධනාගාරගත කළ අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා අද (18) දිනයේ බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

එය සිදුවන්නේ අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ වෛද්‍යවරු පිරිසක් හෙට (19) දිනයේ බන්ධනාගාර රෝහලට පැමිණෙන්නේ නම් පමණක් බවද බන්ධනාගාර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මහින්ද කොඩිතුවක්කු රක්ෂිත බන්ධනාගාරගත කළ අවස්ථාවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේ අදාළ සැකකරු අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනය හමුවට ඉදිරිපත් කර ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳ වාර්තාවක් කැඳවීමට ද පියවර ගන්නා ලෙසය.

එම රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් සාමාන්‍යයෙන් සෑම සිකුරාදා දිනකම වැලිකඩ බන්ධනාගාර රෝහලට පැමිණීම සිදු කෙරෙනෙ බවද මේ අතර වාර්තා වේ.

ඒ අනුව එම අවස්ථාවේදී අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි මෙම සැකකරු වෛද්‍යවරුන් හමුවට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇතැයි ද ‍පැවසේ.

මේ අතර, කිසිදු දේශන හෝ වැඩසටහන් බන්ධනාගාරය තුළ සිදුනොකරන ලෙසට අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කුට ඔහු රඳවා සිටින මැගසින් බන්ධනාගාරයේ නිලධාරීන් විසින් උපදෙසක් ලබාදී ඇතැයි ද වාර්තා වේ.

ඔහු රඳවා සිටින්නේ නවක රැඳවියන් රඳවා සිටින එන් වාට්ටුවේ වන අතර ඔහු සමඟ රැඳවියන් ගණන 250 ක් පමණ සිටින බවද පැවසේ.

මේ අතර අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කුගේ සුවදුක් විමසීම සඳහා කිසිදු පුද්ගලයෙකු ඊයේ (18) මැගසින් බන්ධනාගාරයට නොපැමිණි බවද වාර්තා වේ.

ඒ අනුව ඔහු බන්ධනාගාරයෙන් නිකුත් කරන ආහාර ද ලබාගනිමින් සාමාන්‍ය පරිදි රැඳවියන් සමඟ සිටින බවද පැවසේ.

ඊජිප්තුවේ අවුරුදු 4ක් විසා නැතිව ඉඳලා

පසුගිය නඩුවාරයේදී අවලෝකිතේශ්වර බෝධි සත්ත්වයකු ලෙස පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැති සැකකරු වසර 04ක් වීසා නොමැතිව ඊජිප්තුවේ රැඳී සිට එරටින් පිටුවහල් කළ තැනැත්තකු බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිස්ටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය වෙත දන්වා තිබිණි.

වීසා නොමැතිව ඊජිප්තුවේ රැඳී සිටි සැකකරු ඇමරිකානු ඩොලර් 450ක මුදලක් ගෙවීමෙන් අනතුරුව මෙරට පිටුවහල් කර ඇතැයි ද පැවසේ.

කොඩිතුවක්කු මුදියන්සේලාගේ මහින්ද කොඩිතුවක්කු නැමැති මොහු 2024 ජනවාරි 01 වැනිදා ඊජිප්තුවේ සිට මෙරටට පැමිණ ඇති බවත්, අම්බලන්ගොඩ ප්‍රදේශයේ ජීවත් වූ සැකකරු විවාහ වී ඊජිප්තුවට ගොස් එහි ඇමරිකානු ජාතිකයකුට අයත් නිවසක සුනඛයින් බලා ගැනීමේ රැකියාවක නිරත වී ඇතැයි ද වාර්තා වේ.

දින 12ට ලක්ෂ 15ක් වියදම් කරලා

මෙම සැකකරු මෙරට සිටි දින 12ක කාලයේදී රුපියල් ලක්ෂ 15ක් වියදම් කර ඇති බවත්, සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සැකකරුගේ මුදල් පරිපාලන කටයුතු භාරව කටයුතු කළ අංක 305/13, පුවක්ගහහේන මීගොඩ පදිංචි සුදර්ශනී දිලන්තිකා කරුණාරත්න නමැත්තියගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇති බවත් පැවසේ

එම මුදල් ඔස්ට්‍රේයාවේ පදිංචි ඉරේෂා නමැති සැකකරුගේ අනුගාමිකයකු විසින් ලබා දී ඇති බවත් අනාවරණය වී ඇත.

සැකකරුගේ බිරිඳ සහ දරුවන් ඊජිප්තුවේ ජීවත්වන බවත්, ඔහු මුදල් නොඅල්ලන බව කීවද ඔහු සතුව බැංකු ගිණුම් දෙකක් ඇති බවද හෙළිව තිබේ.

එසේම ඔහු නැවතී සිටි නිවසේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සැකකරුගේ මුදල් පසුම්බිය සොයා ගෙන ඇති අතර එහි තිබී ඩොලර් 110ක් සහ පවුම් 15ක් ද සොයාගෙන ඇත.

මෙම සැකකරුට එරෙහිව පැමිණිලි 08ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇතැයි ද පැවසේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top