සටනට සූදානම් වන උතුරු කොරියාව

New Day
0


යුරෝපයේ යුක්‍රේනය, මැද-පෙරදිග ගාසා හැරුණුකොට ලොව මිළඟ සටන් භූමිය බවට පත්විය හැකි යැයි පුරෝකථනය කෙරෙන්නේ අග්නිදිග ආසියාකරයේ තායිවානය හෝ උතුරු කොරියාව යි.

කෙසේ නමුත් නිදාසිටින ගිනිකඳු ලෙස පැවසෙන මෙම රටවල යුද ගිනිදැල් මෙතෙක් මතු නොවීම සාමය ප්‍රාර්ථනා කරන සියල්ලන්ගේ වාසනාවකි.

ලොව කොමියුනිස්ට් ඒකාධිකාරයක් සහිත රටවල් කිහිපයෙන් එකක් වන උතුරු කොරියාව න්‍යෂ්ටික බලවතෙක් ද වන බව නොරහසකි.

එමෙන්ම ඔවුන් මිසයිල තාක්ෂණය අතින් ද බොහෝදුර යාමට සමත්වී තිබේ.

උතුරු කොරියාව විසින් තවත් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අද (18) නැවතත් අත්හදා බලා තිබුණි.

මෙහි විශේෂත්වය වන්නේ මෙම මිසයිලයට කිලෝමීටර 15,000කට ඔබ්බෙන් වූ ඉලක්කයකට ප්‍රහාරයක් එල්ල කළ හැකිවීම ය.

ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ ඕනෑම ඉලක්කයකට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව උතුරු කොරියාව විසින් අත්පත් කරගෙන ඇති බව රොයිටර්ස් වාර්තා කළේය.

එය අමෙරිකා එක්සත් ජනපදයට මෙන්ම ජපානයට ද එය තර්ජනයක් බව ජපාන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ෂින්ගෝ මියාකි සඳහන් කළේය.

උතුරු කොරියාව අද අත්හදා බැලූ මෙම අන්තර් මහද්වීපික මිසයිලය කිලෝමීටර 6000 ඉක්මවූ ඉහළ අහසට ගමන්කොට පැය 1යි විනාඩි 13කට පසු, ජපානයේ හොකයිඩෝ වෙරළට ඔබ්බෙන් මුහුදට පතිත වී තිබුණි.

මෙම මිසයිලය එල්ල කළ ආනතිය අනුව උතුරු කොරියාවේ සිට කිලෝමීටර දහසක් පමණ ඈතින් පතිත වුවත්, එම ආනතිය සැකසීමෙන් කිලෝමීටර 15,000ක් ඈත ඉලක්කයකට වුවද යොමු කළ හැකි බව ආරක්ෂක විශ්ලේෂකයන්ගේ අදහසකි.

උතුරු කොරියාව අද සිදුකළේ පැය විසි හතරක් තුළ සිදුකළ දෙවැනි මිසයිල අත්හදාබැලීමය.

උතුරු කොරියාව විසින් කෙටිදුර බැලස්ටික් මිසයිලයක් ද ඊයේ රාත්‍රියේ අත්හදා බලා තිබුණි.

එම මිසයිලය කිලෝමීටර 570ක් දුර ගමන්කොට මුහුදට පතිත වූ බව වාර්තා විය.

ඇමෙරිකාව විසින් ප්‍රදර්ශනය කරන යුද සූදානමට ප්‍රතිචාර ලෙසින් තම නව මිසයිල අත්හදා බැලීම් සිදුකළ බව උතුරු කොරියාව ප්‍රකාශ කළේය.

උතුරු කොරියාව ඒ සඳහා නවතම උදාහරණය ලෙස දක්වන්නේ දකුණු කොරියාවේ බූසාන් වරායට අමෙරිකානු න්‍යෂ්ටික සබ්මැරීනයක් පැමිණීම ය.

මිසූරි නැමැති එම න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක සබ්මැරීනය ඊයේ (17) මෙලෙස බූසාන් වරායට පැමිණ තිබුණි.

අමෙරිකානු නාවික හමුදාවේ කාල් විල්සන් නැමැති යුද නෞකාව ද පසුගිය මාසයේ දකුණු කොරියාවේ සංචාරයක නිරත වූයේ උතුරු කොරියාව ප්‍රකෝපයට පත්කරමිනි.

උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම් හමුවේ දකුණු කොරියාව අමෙරිකා එක්සත් ජනපදය සමග ඒකාබද්ධව සිදුකරන යුද අභ්‍යාස සංඛ්‍යාව ද ඉහළ නංවා ඇති බව වාර්තා වෙයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top