නත්තල් සමයේ සීනි හිගයක් ඇති වේද?

New Day
0


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කළ රුපියල් 275ක උපරිම සිල්ලර මිලට සීනි ආනයනය කිරීමෙන් රුපියල් 40ක පාඩුවක් සිදුවන බව සීනි ආනයනකරුවන් පවසයි.

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහ සීනි ආනයනකරුවන් අතර වෙළඳ අමාත්‍යාංශයේ පසුගිය 8 වන දින පැවති සාකච්ඡාවකදී ඔවුන් මෙසේ දැනුම් දී ඇත.

එමෙන්ම ඩොලරය ඉහළ යාම සහ සීනි කිලෝග්‍රෑමයකින් රුපියල් 40ක පාඩුවක් සිදු වීම නිසා ඉදිරියේදී සීනි ඇණවුම් අවලංගු කිරීමටද සිදුවන බව ආනයනකරුවන් පෙන්වා දී ඇත.

එසේ වුවහොත් නත්තල් සහ අලුත් අවුරුදු සමයේ රට තුළ සීනි හිඟයක් ඇතිවිය හැකි බවටද ඔවුන් අනතුරු හඟවා තිබේ.

එම නිසා සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කරන ලෙස ආනයනකරුවන් වෙළඳ ඇමැතිවරයාගෙන් ඉල්ලා ඇතත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

තවද සීනි ආනයනකරුවන් සතුව මේ වනවිට සීනි මෙට්‍රික්ටොන් තිස්දහසක පමණ තොගයක් ඇති බවද මෙහිදී අනාවරණය විය.

දෛනික සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 2000ක් වන අතර දැනට සතු තොගය ප්‍රමාණවත් වන්නේ දෙසතියකට පමණක් බවද ආනයනකරුවෝ පවසති.

සීනි ආනයනකරුවන් සතු සීනි තොග ගබඩා පරික්ෂා කර වාර්තාවක් ලබා දෙන ලෙස ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියටද දැනුම් දී තිබේ.

සීනි සඳහා කිලෝග්‍රෑමයකට ශත 25ක්ව පැවති ආනයන බද්ද රුපියල් 50 දක්වා වැඩි කරමින් මුදල් අමාත්‍යාංශය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.

මෙම ගැසට් නිවේදනයෙන් පසු රුපියල් 250ක්ව පැවති සීනි තොග මිල 09 වන දින වන විට රුපියල් 315 දක්වා වැඩි වී තිබේ.

(අරුණ)

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top