'නව සයොන්වාදය' හිට්ලර්ගේ නට්සිවාදයේ වත්මන් ප්‍රකාශනයයි

New Day
0


වර්තමාන ඊශ්‍රායල රාජ්‍ය විසින් පලස්තීන භූමියෙහි වැසියන් මත මුදා හැරෙන
ම්ලේච්ඡ “සයොන්වාදී” යුද්ධය, ඔවුන්ට (යුදෙව්වන්ට) එරෙහිව මුදා හැරුණු හිට්ලර්ගේ නට්සිවාදයේ වධකාගාර පිරි ජයග්‍රාහී පරිච්ඡේදයෙහි නූතන ප්‍රකාශනය වේ.

එහෙත් හිට්ලර්ගේ නට්සිවාදයට තවමත් විරුද්ධවන ඇමෙරිකානුවන්, බ්රිතාන්‍යයින්, ප්‍රංශ ජාතිකයින් හා වර්තමාන ජර්මානුවන් නෙතන්‍යාහුගේ සයොන්වාදය සඳහා සහාය දීමට ඉදිරිපත්ව සිටීම ශිෂ්ට, මානුෂීය ලෝකයට කෙරෙන අපහාසයක් වාගේම ලෝකවාසීන්ට එරෙහිව ම්ලේච්ඡත්වය සාධාරණය කිරීමකි.

එදා හිට්ලර්ගේ “නට්සිවාදය” සහ අද නෙතන්‍යාහුගේ “සයොන්වාදය” අතර ඇති ලේ වැකි ඥාතිත්වය හඳුනා ගැනීමට අප 20 වන සියවසෙහි මුල් දසක කිහිපයෙහි හිට්ලර්ගේ නායකත්වයෙන් වූ “නට්සිවාදය” තේරුම් ගත යුතුය.

නට්සිවාදයේ මූලාරම්භය හිට්ලර්ගේ නොවේ. එය පළමුවන ෆ්‍රෙඩ්රික් විලියම් විසින් 17 වන සියවසෙහි ප්‍රශියානු හමුදා විනය සහ ආධ්‍යාත්මික සටන්කාමිත්වය ජන සමාජයේ සම්ප්‍රදායක් ලෙස තහවුරු කිරීමේ උත්සාහයක් ලෙස ඇරඹුනකි. පසුව 18 වන සියවසෙහි මහා ෆ්‍රෙඩ්රික් විසින් එයට දේශපාලනික රම්‍යවාදයක් එකතු කරනු ලැබුවේ තාර්කිකත්වය ප්‍රතික්ෂේප කරමින්ය. 20 වන සියවස ආරම්භයේ ඩි ගොබිනො, රිචඩ් වාග්න, ශැම්බලේන් වැනි කිහිප දෙනෙකු විසින් සහ විශේෂයෙන් ෆ්‍රීඩ්රික් නීට්ෂා විසින් අතීත පරිනාමය සමගින් යුරෝපයේ විසිරුණු ජර්මානු මූලයන්ද ඇති ආර්යානු “සුපිරි මනුස්සයකු” සම්බන්ධ අදහස සමාජගත කර තිබිණ.

ඒ සමග ඕස්ත්‍රියානු සමාජයෙහි තිබූ ජර්මානු ව්‍යාප්තවාදය පිළිබඳ ප්‍රවනතා හිට්ලර්ගේ දේශපාලනයට බලපෑවකි. ඔස්ත්‍රෝ-හංගේරියානු බහු වාර්ගික මහා රාජ්‍යයෙහි අගනුවර වන වියානාවෙහි හිට්ලර් අසාර්ථක ශිල්පියෙකුවීමට ස්ලාව් ජාතිකයින් සහ යුදෙව්වන් හේතු වූයේ යැයි ඔහු ගණන් හදා ගෙන තිබිණ. එවගේම පළමු ලෝක යුද්ධයෙහි ජර්මානු පරාජය යුධ පරාජයක් බවට පත් කිරීමට යුද්ධය අවසන් කිරීමේ වර්සේල්ස් ගිවිසුම ජර්මානු සහභාගිත්වයකින් තොරව කෙටුම්පත් කිරීමට රාජ්‍යතාන්ත්‍රිකයින් හවුල් විනැයි මතයක් ජර්මානු මධ්‍යම පංතිකයින් අතර ව්‍යාප්ත වීමත් හේතුවකි. එය විශේෂයෙන් ජර්මානු හමුදා අතර එකල ජනප්‍රිය මතයක් විය.

20 වන සියවස ආරම්භයේදී හිට්ලර් එය ජර්මානු ජාතිකත්වයක් ඉස්මතු කිරීමේ ඔහුගේ දේශපාලනය සඳහා යොදා ගත්තේය.

ජර්මානු නට්සිවාදය සඳහා කලින් යෝජනාකර තිබූ “සුපිරි” ආර්යානු මූලාරම්භයක් සහිත “ජර්මානුවා” සඳහා හිට්ලර් විසින් අධි මාන්නයක් එකතු කෙරුවේ ලෝකය පාලනය කළ යුත්තේ ඒ “සුපිරි ජර්මානුවා” යැයි කීමෙනි. එයට තර්ක, න්‍යාය, දත්ත, භාෂා හා ආගම් වැනි කිසිවක් අවශ්‍ය නොවුනි. අවශ්‍ය වූයේ සුපිරි ජර්මන් ජාතිය ගැන තබන්නාවූ “විශ්වාසය” පමණි. එවැනි විශ්වාසයක් තබන්නට ගාල් කරගත හැක්කේ ජර්මානුවන් පමණි. අනෙක් ජන වර්ග ජර්මානු ජාතිය සුපිරි යැයි නොපිළිගනිති.

20 වන සියවස ආරම්භයේදී හිට්ලර් එය ජර්මානු ජාතිකත්වයක් ඉස්මතු කිරීමේ ඔහුගේ දේශපාලනය සඳහා යොදා ගත්තේය.

ජර්මානු නට්සිවාදය සඳහා කලින් යෝජනාකර තිබූ “සුපිරි” ආර්යානු මූලාරම්භයක් සහිත “ජර්මානුවා” සඳහා හිට්ලර් විසින් අධි මාන්නයක් එකතු කෙරුවේ ලෝකය පාලනය කළ යුත්තේ ඒ “සුපිරි ජර්මානුවා” යැයි කීමෙනි. එයට තර්ක, න්‍යාය, දත්ත, භාෂා හා ආගම් වැනි කිසිවක් අවශ්‍ය නොවුනි. අවශ්‍ය වූයේ සුපිරි ජර්මන් ජාතිය ගැන තබන්නාවූ “විශ්වාසය” පමණි. එවැනි විශ්වාසයක් තබන්නට ගාල් කරගත හැක්කේ ජර්මානුවන් පමණි. අනෙක් ජන වර්ග ජර්මානු ජාතිය සුපිරි යැයි නොපිළිගනිති.

යුදෙව් සංහාරය සමග හිට්ලර්ගේ ස්ලාව් ජනතා විරෝධය වෙනුවෙන් 1934 සිට නට්සිවාදය යෝජනා කළ ජර්මානු ව්‍යාප්තවාදයටද ජනතා සහායක් ලැබිණ. ඔහු ජර්මානු සුපිරිවාදය සඳහා ශක්තිමත් ජර්මානු ආර්ථිකයක් වෙනුවෙන් වෙළඳපල විශාල කර ගැනීමක් ගැන කියුවේ 1939 දී පෝලන්තය හා අසල්වැසි ස්ලාව් රාජ්‍ය ආක්‍රමණය කිරීම සඳහා ය. ජර්මනියේ බලය ලබා ගත් හිට්ලර්ගේ ජයග්‍රාහී නට්සිවාදී යුගය අවසන් වන්නට පටන් ගන්නේ පෝලන්ත ආක්‍රමණය සමගින්ය.

වර්තමාන ඊශ්‍රායලය පාලනය කෙරෙන්නේ බෙන්ජමින් නෙතන්‍යාහුගේ දක්ෂිණාංශික “ලිකුඩ්” පක්ෂයේ නායකත්වයෙන් වන සයොන්වාදී දක්ෂිණාංශික සන්ධාන ආණ්ඩුවකිනි. එහි ප්‍රතිපත්තිමය තීන්දු ගැනෙන්නේ සයොන්වාදී දේශපාලනය පදනම ලෙස තබා ගැනීමෙනි. නෙතන්‍යාහුගේ ලිකුඩ් අන්තවාදය ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂාව සහ ශක්තිමත් බලසම්පන්න යුධ හමුදාවක අවශ්‍යතාව අවධාරණය කරන්නකි. එවගේම ඔවුන් 1948 ප්‍රකාශයට පත් කළ ඊශ්‍රායල රාජ්‍ය පාලනයට යටත් භූමිය විශාල කර ගැනීම, හිට්ලර්ගේ නට්සිවාදී බසින් කියන්නේ නම්, ඊශ්‍රායල ව්‍යාප්තවාදය අනුව පලස්තීනු භූමිය අත්පත් කර ගැනීම පිළිගන්නකි. නෙතන්‍යාහුගේ ලිකුඩ් පක්ෂය 1999 දී ප්‍රකාශයට පත් කළ ප්‍රතිපත්ති සටහනෙහි ඊශ්‍රායල ව්‍යාප්තවාදය ගැන සඳහන් කරන්නේ “ජුඩියා, සමාරියා සහ ගාසාහි යුදෙව් ජනාවාස පිහිටුවීම සයොන්වාදී අපේක්ෂා සාක්ෂාත්කර ගැනීමකි. මෙම ජනාවාස පිහිටුවීම යුදෙව් ජනතාවට ඊශ්‍රායල භූමියට ඇති සම්මුති විරහිත අයිතිය ප්‍රකාශ කරන්නකි. එවගේම, ඊශ්‍රායල රාජ්‍යයෙහි මූලික අවශ්‍යතා ආරක්ෂාකර ගැනීමේදී වැදගත් වත්කමකි. මෙම යුදෙව් ජනාවාස ශක්තිමත් කිරීමත් ඔවුන් දියුණු කිරීමත් ලිකුඩ් විසින් නොකඩවා කරනු ඇති අතර ඔවුන් ඉවත් කිරීමට ඉඩ නොතබනු ඇත.”

ඔවුන් ඊශ්‍රායල භූමිය යැයි සඳහන් කරන්නේ ඔවුන්ගේ රාජ්‍ය පාලනය යටතේ ඇති භූමියට අමතරව, පොදුවේ පලස්තීනුවන් යැයි නම් කෙරෙන බහුතර අරාබි සහ සැළකිය යුතු පර්සියානු නැතිනම් ෆාර්සි  සම්භවයක් ඇති සෙසු ජනතාව වෙසෙන ගෝලාන් කඳුවැටිය, බටහිර ඉවුර, ගාසා තීරය, යෙරුසළම ප්‍රදේශ ඇතුළු සියලු බිම් ප්‍රදේශ එකතුකරමින් ය. එවගේම මෙම ලිකුඩ් ආණ්ඩුවේ ප්‍රකාශනයට අනුව, “ජෝර්දාන නදියේ බටහිරෙන් පලස්තීනු අරාබි රාජ්‍යයක් පිහිටුවීම ඊශ්‍රායල ආණ්ඩුව එකහෙළා ප්‍රතික්ෂේප කරන්නකි. පලස්තීනුවන්ට ස්වයං පාලනයක් තුල නිදහසේ ජීවත් විය හැකිය. එහෙත් ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් ලෙස නොවේ.” (උපුටා ගැනීම් - 1999 ප්‍රතිපත්ති සටහන https://www.knesset.gov.il/elections/knesset15/elikud_m.htm)

මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී පලස්තීනු ජනතාවට එරෙහිව නොකඩවා ත්‍රස්ත ප්‍රහාර එල්ල කෙරුණු අතර ගාසා තීරය, බටහිර ඉවුර සහ ගෝලාන් කඳුවැටිය ඊශ්‍රායලය විසින් යටත් කරගනු ලැබ, ඊශ්‍රායල හමුදා විසින් කොටු කර පාලනය කරනු ලබන ප්‍රදේශ වන්නේය. හිට්ලර්ගේ වධකාගාර සහ ඊශ්‍රායල ආක්‍රමණයට යටත් මේ ප්‍රදේශ අතර වෙනස ඇත්තේ හිට්ලර්ගේ නට්සි වධකාගාර වට කෙරුණු ගොඩනැගිලිවල පවත්වා ගෙන ගිය අතර, ඊශ්‍රායල නව සයොන්වාදී වධකාගාර පවත්වා ගෙන යනු ලබන්නේ වට කෙරුණු විශාල භූමි ප්‍රදේශවල වීමය. එනිසා මේවායේ පලස්තීනු කණ්ඩායම් හා ඊශ්‍රායල හමුදා අතර විටින් විට ගැටුම් ඇතිවීම වැළකිය නොහැකි තත්ත්වයකි. ඊශ්‍රායල විරෝධී සන්නද්ධ සංවිධාන අතුරින් හමාස් සංවිධානය මේවායේ ජනප්‍රියවී ඇත්තේ ඔවුන්ගේ සන්නද්ධ ක්‍රියාකාරීන් ඊශ්‍රායල හමුදා පාලනය අභියෝගයට ලක් කිරීම හේතුවෙනි.

ඉකුත් ඔක්තෝම්බර 07 වන දින ඊශ්‍රායලයේ දක්ෂිණ ප්‍රදේශයට එල්ල කෙරුණු ආසන්නම හමාස් ප්‍රහාරයේ ම්ලේච්ඡත්වය හේතුවෙන් ඊශ්‍රායල ජීවිත වලට හා ගොඩනැගිලි වලට බරපතල හානි සිදුව ඇති අතර, ඊට ප්‍රති ප්‍රහාර ලෙස මේ වනවිට දින 22 ක් පුරා ඊශ්‍රායලය ගාසා තීරයට නොකඩවා ගුවන් හා රොකට් ප්‍රහාර එල්ල කරන්නේය. ජලය, විදුලිය, සෞඛ්‍ය පහසුකම් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයුම් අත්හිටුවා එල්ල කරන්නාවූ ගුවන් හා රොකට් ප්‍රහාර විසින් දරුවන් 3,000 ක් සමග පලස්තීන ජීවිත 7,300 ක් පමණ ඝාතනය කර ඇත. තවත් පුද්ගලයින් 1,650 ක් පමණ කඩා වැටුණු ගොඩනැගිලි අතර හිරව ඉන්නා බවත් ඉන් අඩක් පමණ කුඩා දරුවන් බවත් අල් ජසීරා ඉකුත් 28 වන දින වර්තා කළේය. ඊශ්‍රායල ප්‍රහාර තුවාල ලැබූ විශාල පිරිස් සහ අවතැන් වූවන් දහස් ගණන් රොක්වන රෝහල්ද ඉලක්ක කෙරෙන්නේ යැයි චෝදනා ඇත.

මේ ම්ලේච්ඡත්වය සාධාරණය කිරීමට ඊශ්‍රායලය නිල වශයෙන් යොදා ගන්නා භාෂාව ජර්මානු නට්සිවාදී භාෂාවටද වඩා අශිෂ්ට ම්ලේච්ඡ භාෂාවකි. හිට්ලර්ගේ නට්සිවාදය ජර්මානුවා සුපිරි මිනිසකු යැයි කියා බාල වර්ගයේ යුදෙව්වන් වධකාගාර වලට ගාල් කළ අතර, නව සයොන්වාදය පලස්තීනු දරුවන්ද සමග තොග මිනිස් ඝාතනය සාධාරණය කරන්නේ ඔවුන් ගනුදෙනු කරන්නේ තිරිසන් සතුන් සමග යැයි කීමෙනි. පලස්තීනු ජනයා තිරිසනුන් යැයි කීමම, නෙතන්‍යාහුගේ නව සයොන්වාදය හිට්ලර්ගේ නට්සිවාදය ලජ්ජාවට පත් කරන්නකි.

ඒ සඳහා බටහිර මාධ්‍ය සහාය ඇතිව ලොව බලවතුන් චෝදනා එල්ල කරන්නේ හමාස් ප්‍රහාරයේ ම්ලේච්ඡත්වය අවධාරණය කිරීමටය. එහෙත් ඊශ්‍රායල බුද්ධි සේවා සහ හමුදා ආරක්ෂක මුරකාවල් නොදැනුවත්ව ඊශ්‍රායලයට ඇතුලු වන්නට හමාස් සන්නද්ධ ක්‍රියාකාරීන්ට හැකි වීම ලොව මවිත කරන වික්‍රමයක් යැයි පවසන ඇතැම් විචාරකයින් දැන් කියන්නේ ඒ සඳහා හමාස් සංවිධානයට උදව්කර ඇත්තේ ඊශ්‍රායලය විසින්ම යන්න ය. ඔවුන්ගේ තර්කය වන්නේ ඊශ්‍රායල සයොන්වාදී පාලනයට ගාසා තීරය අවසන් වශයෙන් පලස්තීනුවන්ගෙන් හිස් කර සම්පූර්ණයෙන් ඔවුන්ගේ පාලනයට ගැනීම සඳහා හේතුවක් හදා ගැනීමට අවශ්‍යව තිබුණාය යන්නය. එය අගමැති නෙතන්‍යාහුගේ ලිකුඩ් පක්ෂයේ 1999 දී ප්‍රකාශයට පත් කළ ප්‍රතිපත්ති සටහනෙහි තිබූ අයුරු “....ගාසාහි යුදෙව් ජනාවාස පිහිටුවීම සයොන්වාදී අපේක්ෂා සාක්ෂාත්කර ගැනීමකි”.

අවසන් විග්‍රහයේදී හිට්ලර්ට විරුද්ධ වූ සියලු බලවත් රාජ්‍යයන්ගේ සහාය ඇතිව නෙතන්‍යාහුගේ නායකත්වයෙන් දියත්වන නව සයොන්වාදය ඊශ්‍රායල ව්‍යාප්තවාදය වෙනුවෙන් කෙතරම් ම්ලේච්ඡ වූවත් පලස්තීනු ඝාතන අත් නොහරිනු ඇත.

(කුසල් පෙරේරා)

ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )

The Leader

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top