කුමාර ධර්මසේනට 12දා අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

New Day
0

පින්තැන්න ප්ලාන්ටේෂන් (පුද්.) සමාගමේ සභාපති හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන මහතා සහ එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය, නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු 12 දෙනකුට ලබන 12 වැනිදාට අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතා නියෝග කර තිබේ.කුමාර ධර්මසේන යන අය කළ පැමිණිල්ලට අදාළව සැකකරුවන් දෙදෙනකු පොලිසිය ඉකුත් සැප්තැම්බර් 27 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ගේ පාර්ශ්වය අධිකරණයට කරුණු දැක්වීමේන් අනතුරුව මෙසේ නියෝග කර තිබේ.

ඒ අනුව ගල්හේන පාර, ගංගොඩවිල, නුගේගොඩ ලිපිනයෙහි පිහිටි පින්තැන්න ප්ලාන්ටේෂන් (පුද්.) සමාගමේ සභාපති/කළමනාකරණ අධ්‍යක්ෂ කුමාර ධර්මසේන මහතාට අමතරව, එම සමාගමේ විධායක අධ්‍යක්ෂකවරුන් වන දුෂාන්ති ධර්මසේන, කවිශ්ක ධර්මේන, අධ්‍යක්ෂකවරුන් වන අශල්‍යා ධර්මසේන, අමන්‍යා ධර්මසේන, ගිණුම් කළමනාකරු උදාර ෂලීන් කරුණාරත්න, එම සමාගම, හයිලෙවල් පාර, නුගේගොඩ ලිපිනයැති පින්තැන්න ඔයුඩ ඔයිල් (පුද්.) සමාගමේ මනහර, එම සමාගමේ චමෝද්, එම සමාගමේ ප්‍රධාන කළමනාකරු කිත්සිරි, නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ එම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා යන අය වෙත ද නොතීසි නිකුත්කර ඇත.

සිද්ධිය සැකෙවින් මෙසේය.

ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සඳහා මෙවලම් සහ උපාංග සපයනු ලබන ‘ඇසෙන්ට් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ’ කළමණාකාර අධ්‍යක්ෂවරයා වන වර්ණකුලසූරිය ප්‍රදීප් මාලිංග ප්‍රනාන්දු නමැති ව්‍යාපාරිකයා සිය බිරිය වන නෙදර්ලන්ත ජාතික ක්‍රිස්ටා රොබීනා වෑන්ඩර් ෂූට් සහ දූ දරුවන් ද සමඟින් නාරාහේන්පිට පිහිටි අංක 51/2, ‘පාක්ලීන්’ නිවෙසේ පදිංචියට එන්නේ ඉකුත් 2021 වසරේ අගෝස්තු මාසයේ දිනකදීය. ඒ, මසක කුලිය වශයෙන් රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලකට බදු පදනම මතය.

මාලිංග ප්‍රනාන්දුටත් ඔහුගේ බිරියටත් එම නිවෙස වසර දෙකක කාලයක් සඳහා බදු පදනම මත ලබා දෙනු ලබන්නේ ජයෙන්ද්‍ර විජේසේකර යන අය විසිනි. 

මේ වන විට විදෙස්ගතව ජීවත් වන ජයෙන්ද්‍ර, අදාළ නිවෙසේ මාසික කුලිය වූ රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදල නියමිත දිනයට තමන්ගේ බැංකු ගිණුමට බැර කරන ලෙසට මාලිංග ප්‍රනාන්දුට දැනුම් දී තිබිණ.

බලයලත් මානක, ගාමිණී දොඩන්වල විසින් මැන සාදනු ලැබූ අංක 14378 සහ 2019/10/10 දිනැති පිඹුරේ කැබලි අංක 01 දරන රූඩ් 2 හා පර්චස් 2.66 ක් (පර්චස් 82කට වැඩි) විශාල ඉඩම සහ එකී ඉඩමේ පිහිටා ඇති අංක 51/2 දරන “පාර්ක්ලීන්” නිවෙස ඇතුළු එහි පිහිටි අනෙකුත් ගොඩනැගිලි සියල්ලම වසර දෙකක කාලයක් සඳහා මාලිංග ප්‍රනාන්දු යන අයට භුක්ති විඳීමට බදු ගිවිසුමේ කරුණු අන්තර්ගතව තිබිණ. මෙය, ප්‍රසිද්ධ නොතාරිස් කේ. ඩී. එස්. පී. මඩප්පුලි විසින් 2021 අගෝස්තු මස 05 වන දින ලියා සහතික කළ අංක 1429 දරන බදු ගිවිසුමකි.

මාලිංග ප්‍රනාන්දු ඇතුළු පවුලේ උදවිය මෙම නිවෙසේ වාසය කරමින් සිටියදී අදාළ පරිශ්‍රයට යාබඳව පිහිටා ඇති කොළඹ 05 ඉසිපතනාරාමයේ විහාරාධිපති හිමියන්, එම විහාරස්ථානයේ භාරකරුවන් සහ ඔවුන්ගේ නියෝජිතයන් යැයි කියාගන්නා පිරිසක් පැමිණ එම වාසය කරන නිවෙස විහාරස්ථානයට අයත් එකක් බවට සඳහන් කරමින් ඉන් වහාම ඉවත්වන ලෙසත් එසේ නොවන්නේ නම්, නැවත නව බදු ගිවිසුමකට එළැඹීමට එකඟ වන ලෙසත් ඔවුන්ට දැනුම් දී ඇත .
“මේ ඉඩම අයිති ඉසිපතනාරාමයට. ජයේන්ද්‍ර විජේසේකරට මේ ඉඩමේ කිසිදු අයිතියක් නෑ. එයත් හිටියේ කුලියට. රුපියල් 7000ක මුදලක් එයා ගෙව්වා. එයා අන්තිමට 2018 අගෝස්තු මාසය දක්වා පන්සලේ භාරයට ඒ සල්ලි ගෙව්වා. ඔයාලා කැමැති නම් ආයෙත් අලුත් බදු ගිවිසුමක් ගහලා මේකේ ජීවත් වෙන්න
පන්සලේ භාරය වෙනුවෙන් පැමිණි පිරිස මාලිංග ප්‍රනාන්දුට දන්වා සිටියේ එසේය. 

වහාම ක්‍රියාත්මක වූ ඔහු විදෙස්ගතව සිටින ජයේන්ද්‍ර විජේසේකර යන අයට දුරකතන ඇමතුමක් ගන්නේ මේ සිදුවූ සිදුවීම කියාපෑමටය. 

අදාළ පරිශ්‍රයේ සැබෑ හිමිකරු කවුරුන්දැයි ඔහු ජයේන්ද්‍රගෙන් විමසා සිටි අතර, තමන් එම නිවසේ හිමිකරු බවට එහිදී ඔහු පුන පුනා සඳහන් කිරීම හේතුවෙන් වැඩිදුරටත් මාසික කුලිය නියමිත පරිදි ඔහුගේ බැංකු ගිණුමට තැන්පත් කිරීමට මාලිංග කටයුතු කළේය.

එය එසේ සිදු වෙද්දී, ඉසිපතනාරාමයේ භාරකරුවන් තිදෙනකු විසින් ජයේන්ද්‍ර විජේසේකර, මාලිංග ප්‍රනාන්දු සහ ඔහුගේ බිරිය වගඋත්තරකරුවන් කරමින් කොළඹ දිසා අධිකරණයේ අංක ඩීආර්ඊ/1/2023 දරන ‘නෙරපීමේ නඩුවක් ගොනුකරනු ලැබ තිබිණි. 
මෙකී නඩුකරයත් සමඟ තමන් වෙසෙන නිවසේ හිමිකාරීත්වය පිළිබඳව මාලිංගට ඇතිවන්නේ උභතෝකෝටික ප්‍රශ්නයකි’. 
මේ හේතුවෙන්ම මෙතෙක් නියමිත පරිදි මාසිකව ගෙවාගෙන ආ ගෙවල් කුලී මුදල ගෙවීම තාවකාලිකව නවතා දැමීමට ඔහු තීරණයක් ගෙන තිබිණ. 

පසුව දිසා අධිකරණයේ විභාග වන නඩුවට අදාළව විත්තිකරුවන් තිදෙනාම සිය මූලික විරෝධතා ගොනු කර ඇත. 

එම නඩුව තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතී. 

මෙවන් අවස්ථාවක නොයෙකුත් සැක සහිත පුද්ගලයන් විටින් විට අදාළ පරිශ්‍රයට පැමිණ එම ඉඩම විකිණීමට තිබෙන්නේදැයි අසන්නට වූ බැවින් මාලිංග නැවතත් ප්‍රශ්නයකට මැදිව ඇත.

මේ හේතුව නිසාම ඔහු සිය ආයතනය සහ නිවෙස ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රක්නා ලංකා පෞද්ගලික ආරක්ෂක අංශයේ සේවය ලබා ගැනීමට කටයුතු කර තිබේ.

මේ අතර ඉකුත් 2023 ජුලි මස 14 වැනිදා සිය බිරියගේ මවුරට වන නෙදර්ලන්තය බලා සිය පවුල සමඟ පිටත්ව ගිය මාලිංගට සිය නිවසේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් ද එළවා දමා නාඳුනන පිරිසක් නිවසට සහ එම ඉඩමට ඇතුළු වී ඇති බවට පසුගිය අගෝස්තු 16 වැනිදා දැනගන්නට ලැබී ඇත.

මේ එම කතාන්දරයේ දිගුවයි.

තමන් විදෙස්ගතව සිටියදී තමන් ජීවත් වූ නිවෙසට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ සියල්ල කොල්ළ කෑ පිරිස පිළිබඳව මාලිංග ප්‍රනාන්දු යන අය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෞද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ තමන්ට සිදුවූ අසාධාරණය කියාපෑම සඳහාය. 

පැමිණිලිකාර මාලිංග ප්‍රනාන්දු ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මඟින් මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතා වෙත ඉදිරිපත් කරනු ලැබ තිබුණේ 1979 අංත 44 දරන ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 (1) (අ) වගන්තිය යටතේය.

මේ පැමිණිල්ලෙන් ඔහු තමන් පදිංචිව සිටි නිවෙසට බලහත්කාරයෙන් ඇතුළු වී ඇත්තේ පින්තැන්න ප්ලාන්ටේෂන් (පුද්.) සමාගමේ සභාපති, හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන සහ ඔහුගේ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ඔවුන්ගේ පිරිසක් බව කියා තිබේ.

“ඒ ඉඩමේ මගේ ව්‍යාපාරයේ කාර්යාලයක් පිහිටුවලා තිබුණා. මම ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය වැනි ආයතන සමඟ සිදුකරනු ලබන සැපැයුම් හා සම්බන්ධ ඉතා සංවේදී ලේඛන, එකී ආයතනවලට සැපයීම සදහා ගෙනැවිත් තිබූ ආරක්ෂක මෙවලම්, උපාංග, සාම්පල් ආදී දේවල් ඒ පරිශ්‍රයේ ගොඩනැගිලිවල තිබුණා. මේ නිසාම තමයි මම ඒ සියල්ලේ ආරක්ෂාව සඳහා ඉකුත් 2023 ජුනි 01 වැනිදා සිට රක්නා ලංකා පුද්ගලික සමාගමේ ආරක්ෂක නිලධාරීන්ගේ සේවය ලබාගත්තේ. ඒ අනුව තමයි එම පුද්ගලික සේවයේ එන්. ජී. සරත් කුමාර යන අයට එම පරිශ්‍රයේ ආරක්ෂාව භාර දුන්නේ. සරත් කුමාර කියන අය කුමාර, ප්‍රියන්ත සහ රුක්මාල් යන තිදෙනාම ඒ පරිශ්‍රයේ ආරක්ෂාවට යොමු කරලා තිබුණා.”

පැමිණිලිකරු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් නෙදර්ලන්තයට ළඟා වීමෙන් පසුවත් හෙතෙම අදාළ පරිශ්‍රයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සරත් යන අය සමග නිතර නිතර වට්ස්අප් මාර්ගයෙන් සම්බන්ධ වූ බවත්, සරත් විසින් සකසා දෙනු ලැබූ ආරක්ෂක නිලධාරීන්ගේ දෛනික වියදම් ළැයිස්තුවට අදාළ මුදල් ද තමන් බැංකුගත කළ බවත් ඔහු අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

“මේ අතරතුරදී තමයි ඉන්දිකා වන්නිආරච්චි කියලා කෙනෙක් මගේ වට්ස්අප් ගිණුම මඟින් මට කතා කළේ. ඇය කිව්වේ වහාම මේ ඉඩමෙන් අයින් වෙන්න. ඒ වෙනුවෙන් අපි ඔයාට රුපියල් මිලියන සීයක් දෙන්නම්. අවශ්‍ය ඩොකියුමන්ට් ටික වට්ස්අප් කරන්නම් කියලා. ඊට පස්සේ අපිට ගේ කුලියට දුන්නු ජයේන්ද්‍ර විජේසේකර මට කතා කළා. එයත් කිව්වා ඔයා මේ ගෙදරින් යන්න. ඒක ඉන්දිකාට භාර දෙන්න කියලා. මම කොහොමද එහෙම කරන්නේ. මේ වෙනකොටත් මමත් මගේ බිරියත් වගඋත්තරකරුවන් කරලා දිසා අධිකරණයේ නඩුවක් පවතිනවා. එහෙම අවස්ථාවක මම ඒ අය කියන දේ කරන්නේ කොහොමද? ඒ නිසාම මම ඒ අය කියන දේ තරයේ ප්‍රතික්ෂේප කළා.”

පසුව, ඉකුත් 2023 අගෝස්තු මස 16 වැනිදා මාලිංග ප්‍රනාන්දුට වට්ස්අප් ඇමතුමකින් සම්බන්ධ වූයේ ඉන්දිකා වන්නිආරච්චි නමැත්තියය.

“අපි මේ ඉඩමේ සන්තකය ගත්තා. මේ ඉඩම කුමාර ධර්මසේන මිලට ගත්තා. මීට පස්සේ ඒ පරිශ්‍රයේ සියලු කටයුතු කුමාර ධර්මසේන එක්ක කරගෙන යන්න. ඔයාට මම කුමාරගේ නම්බර් එක දෙන්නම්. එයා තමයි ඉදිරියට මේකෙ සියල්ල භාරව ඉන්නේ.”
ඒ අනුව, ඇය ලබාදුන් දුරකතන අංකයකට අනුව තමන් කුමාර ධර්මසේන යන අයට කතා කළ අවස්ථාවේදී ඔහු එම නිවස මිලට ගත් බවට තමන්ට දැනුම් දුන් බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණ.
“ඉන්දිකා කියන කෙනා කියන්නේ ඇත්තක්ද කියලා බලන්න මම කළේ ගේ බලාගන්න කියලා දීපු ආරක්ෂක නිලධාරීන්ට කතා කරපු එක. නමුත් ඒ අයගේ ජංගම දුරකතනය විසන්ධි කරලා. මම අසල්වැසි නිවෙසේ ජීවත් වන චම්පිකා ගුණරත්නට කතා කරලා ඇහුවා අපේ ගෙදර පැත්තේ මොනවද වෙන්නේ කියලා. එතකොට එයා කිව්වා සැකකටයුතු කිහිප දෙනෙක් එහෙට ඇවිත් ඉන්නවා කියලා. ඊට පස්සේ මම මගේ රියැදුරු රාජා නාදන් ව ඒ ස්ථානයට යැව්වා, බලහත්කාරයෙන් කවුද එතනට ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න කියලා. මට නාදන් කිව්වා ඒ පරිශ්‍රයේ නාඳුනන විශාල පිරිසක් ඉන්නවා ඒ ගොල්ලෝ ඇයි ඉන්නේ කියලා ඇහුවාම ඒ පිරිස නාදන්ට බැණ තර්ජනය කරලා එළව ගෙන තිබුණා. ඊට පස්සේ තමයි නාදන් නාරාහේන්පිට පොලිසියට ගියේ පැමිණිල්ලක් කරන්න.”
තම රියැදුරා වන නාදන් යන අය ඉකුත් 2023 අගෝස්තු මස 17 වන දින සීඅයිබී 1/99/123 යොමු අංකය යටතේ නාරාහේන්පිට පොලිසියට පැමිණිලි කළ බවත් පසුව පොලිසියට කළ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට කුමාර ධර්මසේන යන අය විසින් තර්ජනාත්මකව තමාට ප්‍රකාශ කර සිටි බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් දක්වා ඇත.
“මේ ගැන වැඩිදුරටත් සොයා බලන්න ඕන නිසා ඉඩම බලාගන්න දීපු කුමාරට කතා කළා. සිදුවීම වුණ 2023 අගෝස්තු මාසේ 16 වැනිදා සවස 3ට විතර පුද්ගලයන් හතර දෙනෙක් අනවසරයෙන් තාප්පෙන් පැනලා ඉඩමට ඇතුළු වුණා කියලා ඔහු කිව්වා. එක් අයකු ළඟ පිස්තෝලයක් තිබුණු බවත් නිශ්ශබ්දව සිටින ලෙසට ඔහු සමඟ සිටි අයට මේ පුද්ගලයා කියලා තියෙනවා. ඊට පස්සේ විසි දෙනෙක් විතර ඒ තැනට බලහත්කාරයෙන් ඇතුළු වෙලා “කලබල කරන්න එපා කියලා එක එක විදිහට තර්ජනය කරලා ඊට පස්සේ ලේඛන කිහිපයකට බලහත්කාරයෙන් අත්සන් අරගෙන තියෙනවා. මේ ගැන කුමාරත් නාරාහේන්පිට පොලිසියට ප්‍රකාශයක් ලබා දුන්නා.”
පසුව, තමන් ඉකුත් 2023 අගෝස්තු මස 23 වැනිදා නැවත දිවයිනට පැමිණ 24 වැනිදා පොලිසියට ගොස් අංක සීඅයිබී 1/188/184 යටතේ ප්‍රකාශයක් ලබාදුන් බවත්, තමා පැමිණ සෝදිසි කර බලද්දි නිවසේ තිබූ සියලු ගෘහ භාණ්ඩ, මුදලින් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක්, සුරතලයට ඇති කළ ලැබ්‍රඩෝර් වර්ගයේ බල්ලන් දෙදෙනකු, රුපියල් මිලියන පහක පමණ වටිනාකමකින් යුත් ට්‍රක් රථයකට සවිකළ හැකි ආහාර පාන සැපයිය හැකි ජංගම ට්‍රේලරයක්, භූමියේ සවිකර තිබූ සියලුම සී.සී.ටී.වී. පද්ධතිය සවිකර ඇති මුරකුටිය සහ එහි දේපළ මංකොල්ල කා ඇති බවත් පැමිණිලිකරු අධිකරණයට කරුණු දක්වා ඇත.

මේ අතර පැමිණිලි ප්‍රකාරව නාරාහේන්පිට පොලිසිය අදාළ පරිශ්‍රයට බලෙන් ඇතුළු වූ කුමාර ධර්මසේන සහ හෝ ඔහුගේ නියෝජිතයන්ට එරෙහිව කිසිදු පියවරක් ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් නැවත 2023 වර්ෂයේ සැප්තැම්බර් මස 19 වන දින නිත්‍යනුකූලවත්, සාමකාමීවත් තමා එම පරිශ්‍රයට නැවත පිවිසි බවත් ඒ අවස්ථාවේදී නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් එහි පැමිණි අතර එහිදී ගිනි අවි සහිතව සිටි කුමාර ධර්මසේනගේ නියෝජිතයන් අදාළ භූමියෙන් ඉවත්ව ගිය බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් දක්වා තිබිණි.

‘මම ඉකුත් 2023 සැප්තැම්බර් මස 20 දින නාරාහේන්පිට පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන්න ගියා. ඒ ගියාම ස්ථානාධිපතිතුමා මට කිව්වා කුමාර ධර්මසේන යන අය මට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ ගැන ඒ පාර්ශ්වයත් එක්ක කතා කරලා සමථයකට එන්න කියලා. මම ඇහුවා මගේ දේපළ කොල්ලකාලා ඒ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වෙලා මේ අය එක්ක සමථයකට එන්න මට කිසිම අවශ්‍යතාවක් නැහැ කියලා මම කිව්වා. ඒ නිසා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මම පොලිසියෙන් ඉල්ලුවා. එතකොට පොලිසියෙන් කිව්වා එයාලා එක්ක සමථයකට එන්නේ නැත්නම් ඒ දේපළවල අයිතිය එයාලට දෙන්නේ නැත්නම් මාව අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා කියලා. 

"මට එහෙම කිව්වේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා. පොලිස් අත්අඩංගුවට පත්වෙලා මගේ ජීවිතයට තර්ජනයක් වෙයි කියලා මම ඒ දේපළේ යතුර පොලිසියට දුන්නා. මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. පොලිසිය බලහත්කාරයෙන් තමයි ඒ යතුර ගත්තේ. අඩුම තරමේ කුමාර ධර්මසේන මට විරුද්ධව දාලා තිබුණේ මොනවගේ පැමිණිල්ලක් ද කියලාවත් පොලිසිය මට කිව්වේ නැහැ. ඊට පස්සේ අදාළ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීම සහ මගේ දේපළ සොරකම් කිරීම සම්බන්ධයෙන් මම කුමාර ධර්මසේනට සහ ඔහුගේ නියෝජිතයන්ට එරෙහිව යොමු අංක එම් ඕ අයි බී 33/134 යටතේ නාරාහේන්පිට පොලිසියේම පැමිණිල්ලක් කළා. ”

නාරාහේන්පිට පොලිසියේ නිලධාරීන්ගේ එකී තර්ජනාත්මක නීති විරෝධී හා පක්ෂග්‍රාහී ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මෙන්ම මීට මසකට පෙර තම රියැදුරු විසින් සිදු කළ පැමිණිල්ලට අදාළව ක්‍රියාත්මක නොවීම පිළිබඳව මා විසින් ඉකුත් 2023 සැප්තැම්බර් මස 22 වැනිදා පොලිස්පතිවරයාටත් 26 වැනිදා ජාතික පොලිස් කොමිෂන් සභාවටත් පැමිණිලි කළ බව ද පැමිණිලිකරු සිය නඩු ලේඛණයේ සඳහන් කර ඇත.

ඒ අනුව ඉකුත් 2023 සැප්තැම්බර් මස 20 වන දින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා විසින් අදාළ පරිශ්‍රයේ යතුර තමාගෙන් බලහත්කාරයෙන් ලබාගෙන සැප්තැම්බර් මස 27 වන දින කුමාර ධර්මසේන යන අයගේ පාර්ශ්වයට හෝ පින්තැන්න ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගමට අත්තනෝමතිකව හා නීතියට පටහැණි අයුරින් ලබා දී වංක සහයෝගයෙන් කටයුතු කර ඇති බවත් පැමිණිල්ල ප්‍රකාශ කර ඇත.

ඉකුත් 2023 සැප්තැම්බර් මස 20 දින කුමාර ධර්මසේන පාර්ශ්වය නාරාහේන්පිට පොලිසියට කළ පැමිණිල්ලට අදාළව පොලිස් ස්ථානාධිපතිවරයා සැප්තැම්බර් මස 21 වැනි දින බී 269/03/23 යටතේ අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ. එමෙන්ම නාදන් යන තම රියැදුරා ඉකුත් 2023 අගෝස්තු මස 17 දින පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලට අදාළව ස්ථානාධිපතිවරයා බී 270/03/23 යටතේ අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ද ඉකුත් සැප්තැම්බර් මස 21 වනිදා බව පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් අධිකරණයට කරුණු දක්වා ඇත.

එසේම, කුමාර ධර්මසේන යන අය කළ පැමිණිල්ලට අදාළව සැකකරුවන් දෙදෙනකු පොලිසිය ඉකුත් සැප්තැම්බර් මස 27 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ගේ පාර්ශ්වය අධිකරණයට කරුණු දැක්වීමේදී කුමාර ධර්මසේන යන අයගේ ව්‍යාපාරයක් වන පින්තැන්න ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම නමින් ආදළ පරිශ්‍රය සඳහා අයිතිවාසිකම් කියනු ලබන බවට සඳහන් කළ බව ද පැමිණිල්ල සිය ඉල්ලීමෙන් අධිකරණයට දන්වා ඇත. 

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top