මේක තමයි ජීවිතේ

New Day
0

සකුගේ ලෝකය නාට්‍යයේ දැහැමිගේ චරිතය තුළින් රංගනයට? ඇය මේ දිනවල ප්‍රේක්ෂක අපට සමීප වන්නේ ස්වරණවාහිනී නාලිකාවේ රාත්‍රී 9ට විකාශය වන ලක්මිණි අමරදේවගේ "මේක තමයි ජීවිතේ" නාට්‍යයේ නතාෂා ලෙසින්. මේ කතාබහ ගයත්‍රී රාසිංගොල්ල සමඟ.

මෙතෙක් සම්බන්ධ වුණු නිර්මාණ ගැන මතක් කළොත්?

මේ දවස්වල "මේක තමයි ජීවිතේ" නාට්‍යයේ රූපගත කිරීම් එක්ක ඉන්නේ. එහි මගේ චරිතය වෙන්නේ නතාෂාගේ චරිතය. එය කතාවේ ප්‍රධාන චරිතයක්.

සකුගේ ලෝකයෙන් පස්සේ සමීර වක්වැල්ල අයියාගේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් කළා. එය තාම තිරගත වුණේ නැහැ. කෝලම් කුට්ටම නාට්‍යයේ අංජුලා ටීචර්ගේ චරිතය කෙටි කාලයක් කළා..

කොහොමද නතාෂා වෙන්න අවස්ථාව ලැබුණේ?

අලුත් නාට්‍යයකට ඔඩිෂන් තියෙනවා කියන ආරංචිය මට දුන්නේ මේ නාට්‍යයේම කසුන් කියන චරිතය කරන මගේ මිත්‍ර ගෙවින් අභිෂේක්ගේ මාර්ගයෙන්. මම ඒකට අයැදුම් කළා. එතැනින් පස්සේ අපේ අධ්‍යක්ෂක ලක්මිණි අමරදේව මට කතා කරලා චරිතය ගැන අදහසක් දීලා ඔඩිෂන් එකට එන්න කිව්වා. පහුවදාම මම ඔඩිෂන් එකට ගියා. ඒ ඔඩිෂන් එකෙන් මාව තේරුණා.

මම කලාවේ වැඩ එක්කම පූර්ණකාලීනව රැකියාවක නියුතු කෙනෙක් නිසා කාලය පොඩ්ඩක් කළමනාකරණය කර ගන්න අපහසුයි. මම කැමතියි සුළු නිර්මාණ ප්‍රමාණයක් වුණත් ප්‍රමිතියෙන් යුතු නිර්මාණ පමණක් කරන්න. ඒ නිසා "මේක තමයි ජීවිතේ" නාට්‍යයේ මම මේ කරන චරිතය ගැන තෘප්තිමත්.

ඔබ මොන වගේ වෘත්තියක ද නියැළී ඉන්නේ?

ව්‍යාපාර කළමනාකරණය වගේම මනෝ විද්‍යාව සහ උපදේශනය පැත්තෙන් මම ඉගෙන ගෙන තියෙනවා. ඒ දෙකම මිශ්‍ර වුණු රැකියාවක නිරත වෙලා ඉන්නේ. ඒක USAවල ස්ථාපිත වුණු ආයතනයක්. ඒ නිසා එහේ වෙලාවට වැඩ කරන්නේ.

කලාවට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ඒ ගැන තියෙන්නේ සතුටක්. මම කලාවේ විවිධ පැතිවලට සම්බන්ධ වෙලා හිටිය කෙනෙක්. සංගීතය ඉගෙන ගෙන තියෙනවා. නර්තනය යම් දුරකට ඉගෙන ගෙන තියෙනවා. පාසල් වේදිකාව එක්ක රංගනය කළත් හරියටම රංගනය ගැන ඉගෙන ගත්තේ ඔස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්න කාලේ. ලංකාවට ආවට පස්සේ ඉම්පාස් ආයතනයේ ඇක්ටින් පාඨමාලාව කළා. ප්‍රසන්න මහගමගේ සර් අපිව පුහුණු කළේ. කලාවේ හැම පැතිකඩක් ගැනම හිතුවොත් මම වඩාත් කැමති රංගනයට. හොඳ අවස්ථාවන් එක්ක හොඳ චරිත ලැබීම ගැන මම සතුටු වෙනවා.

නැවත විදෙස්ගත වෙන්න අදහසක් නැද්ද?

එහෙම බලාපොරොත්තුවක් තිබුණා. දැනට නම් මම ලංකාවේ ඉන්න තීරණය කරලා ඉන්නේ. ඉදිරියට කොහොම වෙනස් වෙයිද කියන්න නම් බැහැ. මම ලංකාවේ ඉන්නේ සතුටින්. මගේ රැකියාව සහ කලා කටයුතු කරගෙන මගේ දෙමාපියන් එක්ක ඉන්න ලැබෙන එක මට ඇති.

ආදරේ ගැන මොකද හිතන්නේ?

මට නම් ආදරේ පුද්ගලිකව ගැඹුරු ඉතා වටිනා කියන දෙයක්. එකිනෙකා ගැන හොඳ අවබෝධයෙන් සහ සහයෝගයෙන් ඉදිරියට යන්න නම් මුලින්ම තමන් හිතින් සහ ආධ්‍යාත්මිකව පිරුණු මිනිසෙක් වෙන්න ඕනේ. මම ගොඩක් හිතන්නේ ඒ පැත්ත. මම මානසිකව මාව සතුටින් තියන ගමන් ආධ්‍යාත්මික දියුණුව ගොඩක් හිතන කෙනෙක්. මම මගේ ගැන හොඳ අධ්‍යයනයක් කරගෙන යනවා. එතකොට තමන්ට ගැළපෙන විදියේ කෙනෙක් ආකර්ෂණය වෙනවා. මේ කාලේ ගොඩක් දකින්න ලැබෙන්නේ කැෂුවල් රිලෙෂන්ශිප්. මම ඒවා විවේචනය කරන්නේ නැහැ. හැබැයි පුද්ගලිකව මගේ ජීවිතේ නම් එවැනි දේවල්වලට ඉඩක් දෙන්නේ නැහැ. මට ආදරේ කියන්නේ ගැඹුරු ඉතා වටිනා කියන දෙයක් නිසා.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මම පවුලේ එකම ළමයා. අම්මයි අප්පච්චියි එදා ඉඳන්ම මම කරන වැඩ වලට සහයෝගය දුන්නා. අදටත් එහෙම තමයි. මගේ අඩුපාඩු මුලින්ම පෙන්නලා දෙන්නේ ඒ දෙන්නා. අම්මයි අප්පච්චියි හරි කලාත්මක දෙන්නෙක්. ඒ දෙන්නාගේ සහයෝගය නැතුව මට හිත නිදහසේ කලාව කරගෙන යන්න අමාරුයි.

කටකතා ගොසිප් දකින්නේ කොහොමද?

දැනට නම් මට කටකතා ගොසිප් මුකුත් හැදිලා නැහැ. මම තවම අලුත් නිසා වෙන්නත් පුළුවන්. කටකතා කියන දේවල් ඕනෙම ක්ෂේත්‍රයක කෙනෙක්ට හැදෙන්න පුළුවන්. ඒකට මුහුණ දෙන්න අපි අපේ හිත හයිය කර ගන්න ඕනේ. අපේ හිත හයිය නම් කවුරු මොනවා කිව්වත් තමන් නිවැරදි නම් අපි ඒ දේවල් අපේ කර ගන්න හොඳ නැහැ. මිනිස්සුන්ව වෙනස් කරන්නවත් ඒ අයගේ කටවල් වහන්නවත් අපිට බැහැ.

ගයත්‍රී කියන්නේ මොන වගේ චරිතයක් ද?

සමහර අය හිතනවා මම ගොඩක් සෝෂල් චරිතයක් කියලා. මම එහෙම නැහැ. මගේ විදියට නැත්නම් මම දවසම වුණත් කටවහගෙන ඉඳියි. සංවේදී කෙනෙක්. සත්තුන්ට හරි ආදරෙයි. රංගන ශිල්පිනියක් වුණත් මම රඟපාන්නේ ස්ක්‍රීන් එකේදී විතරයි. ඇත්ත ජීවිතේ මට දැනෙන දේ ඕනෙම අවස්ථාවක කියන්න පුළුවන්. අව්‍යාජ කෙනෙක්.

දිගටම රඟපාන්නද කැමැති?

ඇත්තටම කැමැතියි. ඒ ගැන කියන්න ඕනේ. අපේ කලා ක්ෂේත්‍රය හොඳ ස්ථාවරත්වයක් තියෙනවා නම් පුද්ගලිකව මම වෘත්තිමය රංගන ශිල්පිනියක් වෙන්න කැමැතියි. අද වෙද්දී ඒ තත්වය නැති නිසා මම ඉගෙන ගත්ත දෙයින් රැකියාවක් කරන්න සිද්ධ වෙලා තියෙනවා.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top