මැණික් ව්‍යාපාරිකයන්ට අලුත් බද්දක්

New Day
0


මැණික් සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍රයන් සඳහා දැනට ක්‍රියාත්මක ලාභය මත අය කරන බදු ක්‍රමවේදය අවලංගු කර ව්‍යාපාරිකයන්ගේ මූලික ආදායම මත සියයට 2.5 ක් හෝ සුදුසු බදු අනුපාතයක් පනවන ලෙස පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට නිර්දේශ කර තිබේ.


එමෙන් ම ලොව තරගකාරීත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය වන නව යන්ත්‍ර සූත්‍ර තීරුබදු රහිතව ආනයනය කිරීමට මැණික් අපනයනකරුවන්ට අවස්ථාව ලබා දිය යුතු බවත් තායිලන්තය, චීනය සහ හොංකොං ආදි රටවල මැණික් හා ස්වර්ණාභරණ ආනයන අපනයන ක්‍රියාවලියේ දී අනුගමනය කරන බදු ප්‍රතිපත්තිය හා අනෙකුත් ක්‍රමවේද පිළිබඳව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන්ට පුළුල් අවබෝධයක් ලබා දිය යුතු බවත් එම කාරක සභාව නිර්දේශ කර ඇත.

ක්ෂේත්‍රයට අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාව එම කාරක සභාව දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

මැණික් ප්‍රතිඅපනයනය සඳහා කූරියර් ක්‍රමයට ආනයනය කිරීමේ දී දැනට පනවා ඇති සියයට දෙකයි දශම පහක සමාජ ආරක්ෂණ දායකත්ව බදු මුදල ඉවත් කිරීමට අදාළව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසද එමගින් නිර්දේශ කර ඇත.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුමගේ සභාපතිත්වයෙන් පත් කර තිබෙන මෙම කාරක සභාව විසින් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශය, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා ශ්‍රී ලංකා රේගුව ඇතුළු ආයතන කිහිපයක් සමග සාකච්ඡා කිරීමෙන් පසුව ය.

(අරුණ)

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top