ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමකට චීනයෙන් විශේෂ පුහුණුවක්

New Day
0


ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමක් විශේෂ පුහුණු කඳවුරකට එක්වීම සඳහා පෙරේදා (02) චීනය බලා පිටත්ව ගියේය.

මේ කණ්ඩායමට ක්‍රීඩකයන් 6 දෙනෙක් සහ ක්‍රීඩිකාවෝ 3 දෙනෙක් සමඟ පුහුණුකරුවන් දෙදෙනකු ද ඇතුළත්ව සිටින අතර, ඔවුන් චීනයේදී සති තුනක කාලයක් මේ විශේෂ පුහුණු කඳවුරට එක්වනු ඇත.

ඊට මීටර් 400 ඉසව්ව නියෝජනය කරන අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, පබසර නිකූ, රාජිත රාජකරුණා, පසිඳු කොඩිකාර, දිනුක දේශාන්, නදීෂා රාමනායක, ජයේෂි උත්තරා සහ සයුරි මෙන්ඩිස් යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක් වූහ.

මුද්දික තුෂාර මහතා කණ්ඩායමේ පුහුණුකරු සහ කළමනාකරු ලෙසත්, විමුක්ති සොයිසා මහතා පුහුණුකරුවකු ලෙසත් මේ සංචාරයට එක්ව සිටිති.

මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනා මේ මස අගදී චීනයේ හැන්ජෝහිදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උලෙළට නම් කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට ඇතුළත්ව සිටින බැවින් මේ පුහුණු කඳවුර ආසියානු ක්‍රීඩා උලෙළ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජයග්‍රහණ කරා යෑමට විශාල පිටුවහලක් වනු ඇතැයි මලල ක්‍රීඩා ප්‍රවීණයෝ කියති.

මේ විශේෂ පුහුණු කඳවුර ජාතික ඔලිම්පික් කමිටුව, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සහ චීන මලල ක්‍රීඩා සම්මේලනය එක්ව සංවිධාන කරන අතර, ඊට චීන ඔලිම්පික් කමිටුව විසින් අනුග්‍රාහකත්වය ලබා දී ඇත.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top